කාල අවකාශය විනිවිදින්නට...

විඩා හරින්නට අවසානයක් සොයමින්
ඔහේ ගලා යන කාලයේත්
තම උපරිමයන් හදුනාගන්නට වෙර දරමින්
තවමත් ප්‍රසාරණය වන විශ්වයේත්

අංශු මාත්‍රික විත්ති කරුවන් පමණක් වෙමින්...

තමා විසින්ම වියා ගන්නා ලද
ජීවිතය නමැති මකුළු දැලෙහි
නොදැනුවත්වම පැටලී හිදින්නා වූ
හෝමෝ සේපියන්ස් මානව කුලකයෙන් නික්ම...

ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහි
නොනැවතී රළ නගන
අනන්ත අපරිමාන රහස් සාගරයෙන්
බිදක් පමණක් වත් හෙළිදරව් කරනට වෙර දරන

පරිකල්පනයේ සාහිත්යික විද්‍යා ගවේශණය.

Saturday, January 23, 2010

නවක විද්‍යා ප්‍රබන්ධ රචකයන්ට මඟපෙන්වීමක්‌





කතාංගයක්‌ ලෙස මූලිකව ගත් කල විද්‍යා ප්‍රබන්ධය අනෙකුත් සාමාන්‍ය නව කතාවකින් හෝ කෙටි කතාවකින් හෝ aවෙනස්‌ නො වේ. එබැවින් සාහිත්‍යකරණයේ දී අනුගමනය කළ යුතු මූලික නීති රීති විද්‍යා ප්‍රබන්ධ කතාවක දී ද අනුගමනය කළ යුතු වේ. ආධුනික කථා රචකයකුට වඩා සුදුසු වන්නේ නවකතා හරහා නො ව කෙටිකතා හරහා සාහිත්‍යකරණයට පිවිසීම ය. එහෙත් මෙමඟින් කෙටිකතා ලිවීම නවකතා ලිවීමට වඩා පහසු යෑයි කියවෙන්නේ නැත. කාලය වැය වීම අවම වන නමුදු සීමිත ඉඩ අවකාශයක්‌ තුළ කතාවෙහි අඩංගු විය යුතු කරුණු මනාව සංවිධානය කර ඉදිරිපත් කිරීම සඳහා කෙටිකතාකරුවාට වැඩි මහන්සියක්‌ දැරීමට සිදු වේ. කෙටිකතාවක තිබිය යුතු පොදු ගුණාංගයක්‌ නම් වැල්වටාරම් හුවා දැක්‌වීමකින් තොරව කතාවේ ප්‍රධාන අරමුණට කතාව ඉලක්‌කගත වී තිබීමයි. කෙටි කතාවක දී කෙරෙන සැම විස්‌තරයක්‌ ම වක්‍රාකාරව හෝ සෘජුව කතාවේ මූලික ප්‍රතිඵලය හා බැඳී තිබිය යුතු ය.

විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවක්‌ සාමාන්‍ය කෙටිකතාවකින් වෙනස්‌ වන්නේ එහි විද්‍යාත්මක කරුණු කාරණා හෝ එවැනි පසුබිමක්‌ අඩංගු වන නිසා ම නො වේ. සාමාන්‍ය කෙටිකතාවක්‌ සාමාන්‍යයෙන් මිනිසුන් ගේ හැඟීම් සමග ගනුදෙනු කරන අතර විද්‍යා ප්‍රබන්ධ කතාවක්‌ මිනිසුන් ගේ බුද්ධිය සමග ගනුදෙනු කරයි. එනිසා ම විද්‍යා ප්‍රබන්ධයක චරිතවල හැසිරීම් හා සිදුවීම් අතිශය තාර්කික විය යුතු ය. පුද්ගලානුබද්ධ මිනිස්‌ හැඟීම්වල උච්ඡාවචනයන් හා විචලනයන්ට වඩා විද්‍යා ප්‍රබන්ධයක දී වැදගත් වන්නේ සිදුවීම් එකිනෙක සම්බන්ධ වන ආකාරය හා ඒවායෙන් මතු වන තාර්කික ප්‍රතිඵලයන් ය.

විද්‍යා ප්‍රබන්ධ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාත්මක පසුබිමක හිඳිමින් පරිකල්පනය මෙහෙයවා ලියන ලද කතාන්දරයකි. භෞතික විද්‍යා නියමයන්, ජීව විද්‍යාත්මක සීමා මායිම් ආදිය උල්ලංඝනය නො වන පරිදි විද්‍යා ප්‍රබන්ධ රචනා කළ යුතු ය. නැත හොත් ඒවා මිථ්‍යා ප්‍රබන්ධ ගණයට වැටේ. එහෙත් සෑම විද්‍යා ප්‍රබන්ධයක ම අත්‍යවශ්‍යයෙන් ම විද්‍යාව අඩංගු විය යුතු නැත. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචකයකු වන ආතර් සී. ක්‌ලාක්‌ ගේ විද්‍යා ප්‍රබන්ධවල විද්‍යාත්මක පැහැදිලි කිරීම් බොහෝ දක්‌නට ලැබුණත් ලෝකයේ සුප්‍රකට ම විද්‍යා ප්‍රබන්ධ රචකයා වන අයිසැක්‌ ඇසිමෝව් ගේ කෘතිවල බොහෝ විට විද්‍යාත්මත පැහැදිලි කිරීම් දක්‌නට නැත. උදාහරණයක්‌ ලෙස ආතර් සී. ක්‌ලාක්‌ එන්ජිමට යොදාගත් තාක්‌ෂණයද විස්‌තර කරමින් අභ්‍යවකාශ යානයක සිදු වන කතාන්දරයක්‌ විස්‌තර කරන අතරතුර අයිසැක්‌ ඇසිමෝව් තම සම්පූර්ණ අවධානය යානයේ සිදු වන කතාවට පමණක්‌ යොමු කරයි.

ලෝකයේ ඇති බොහෝ ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කෘති දෙස බැලු විට ඒවා රස විඳීමට විද්‍යා දැනුමක්‌ අත්‍යවශ්‍ය නො වන බව කිව හැකි ය. එහෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයාට අනිවාර්යයෙන් විද්‍යා දැනුමක්‌ තිබිය යුතු ය. විද්‍යා ප්‍රබන්ධයේ විද්‍යාත්මක කාරණා අඩංගු නො වුණත් විද්‍යාත්මක පදනමක්‌ නැති අදහස්‌ එහි අඩංගු නො වීමට තරම් ප්‍රමාණවත් විද්‍යා දැනුමක්‌ ඔහුට තිබිය යුතු ය. ඒ හා සමග ම විද්‍යා ප්‍රබන්ධ රචකයකු ලෝකයේ නව විද්‍යා හා තාක්‌ෂණික ප්‍රවණතාවන් පිළිබඳව අවදියෙන් සිටීම කෘතියෙහි සාර්ථකත්වයට මෙන්ම නව නිර්මාණ සඳහා මූල බීජ සපයාගැනීමට ද ඉතා වැදගත් වෙයි.

විද්‍යා ප්‍රබන්ධයේ අනු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ තිබේ. කාල තරණය, අභ්‍යවකාශ චාරිකා, කෘත්‍රිම බුද්ධිය, සුපිරි මානව වර්ග, ක්‌ලෝනකරණය, ජාන විකෘතිය, විකල්ප ඉතිහාසය, සමාන්තර ලෝක ආදී ඕනෑ ම මාතෘකාවක්‌ ඔස්‌සේ හෝ කිසිදු වර්ගීකරණයකට ලක්‌ කළ නොහැකි වෙනස්‌ ම මාතෘකාවක්‌ ඔස්‌සේ හෝ කතාවක්‌ ගොඩනැඟීමේ අවස්‌ථාව විද්‍යා ප්‍රබන්ධ රචකයකුට හිමි වෙයි.

විද්‍යා ප්‍රබන්ධයක්‌ ලිවීමේ දී ආධුනික විද්‍යා ප්‍රබන්ධ රචකයකු අවධානය යොමු කළ යුතු ප්‍රධාන අවයව කිහිපයක්‌ පහත දැක්‌වේ. කෙසේ වෙතත් මෙමඟින් දැක්‌වෙන්නේ විද්‍යා ප්‍රබන්ධයක්‌ ලිවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා අනුක්‍රමය නො වේ. විද්‍යා ප්‍රබන්ධයක්‌ ලිවීමේ දී පොදුවේ මේ කරුණු කාරණා හිසෙහි දරාගෙන එහි නිරත වීම සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක්‌ බිහි කිරීමට උදව්වක්‌ වනු ඇත.

අදහස

ඕනෑ ම කතාවක්‌ නිර්මාණය වන්නේ කිසියම් අදහසක්‌ වටා ය. අදහස අපූර්ව නැවුම් එකක්‌ නම් ඒ අදහස වටා ගෙතෙන කතාව අතිශය විචිත්‍ර එකක්‌ වේ. අපූර්වත්වය ඕනෑ ම සාර්ථක සාහිත්‍ය නිර්මාණයක තිබිය යුතු පොදු ගුණාංගයකි. එහෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයකුට මෙය අතිශය තීරණාත්මක වේ. පෙර ඇසූ නො වූ විරූ බව විද්‍යා ප්‍රබන්ධයක අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු ය. කාල තරණය, පිටසක්‌වළ ආක්‍රමණ වැනි ජනප්‍රිය ආකෘති තම විද්‍යා ප්‍රබන්ධ සඳහා භාවිත කළ හැකි වුවත් ඒ තුළ නිර්මාණය වන කතාවේ අදහස අතිශය නැවුම් එකක්‌ විය යුතු ය. විද්‍යා ප්‍රබන්ධ සඳහා නිතර ම භාවිත වන සාම්ප්‍රදායික අදහස්‌වලින් ගැලවීම සඳහා හැකි තරම් විද්‍යා ප්‍රබන්ධ කෘති පරිශීලනය කළ යුතු අතර එම අදහස්‌ ම නැවත භාවිත නො කළ යුතු ය. එහෙත් එම අදහස්‌ ඇසුරෙන් නව අදහස්‌ ජනනය කරවා ගැනීමේ හැකියාව හා අයිතිය ආධුනික විද්‍යා ප්‍රබන්ධ රචකයා සතු ය.

කතාවක්‌ සඳහා නව අදහසක්‌ නිර්මාණය කර ගැනීම එතරම් ආයාසකර කාර්යයක්‌ නො වේ. එදිනෙදා ජීවිතයේ ඔබට අසන්නට දකින්නට ලැබෙන සෑම දෙයක ම නව විද්‍යා ප්‍රබන්ධයකට සුදුසු අදහසක්‌ මුසු වී තිබිය හැකි ය. කළ යුත්තේ සාමාන්‍ය පුද්ගලයන් දකින දෘෂ්ටිකෝණයට වෙනස්‌ දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලීමයි. මෙය විද්‍යා ප්‍රබන්ධ රචකයකුට අපහසු කරුණක්‌ නො විය යුතු ය. මක්‌නිසා ද කාලය හෝ අවකාශය ඔහුට බාධාවක්‌ නො වන බැවිනි. වෙනත් සාහිත්‍ය කෘතියක්‌ කියවමින් සිටින විට, රූපවාහිනිය නරඹමින් සිටින විට හෝ අලුත් පාඩමක්‌ ඉගෙනගනිමින් සිටින විට ඒ ඇසුරෙන් විද්‍යා ප්‍රබන්ධයකට උචිත නව අදහසක්‌ ඔබට පහළ විය හැකි ය. එම මොහොතේ ම එම අදහස කොළයක සටහන් කර ගැනීම වඩා සුදුසු අතර පසුව මොළය වෙහෙසවා එය වැඩි දියුණු කරගත හැකි ය.

අපූරු අදහසකින් නිර්මාණය වන අපුරු කෘතියකට උදාහරණයක්‌ ලෙස නෙල්සන් බොන්ඩ් ගේ The Silent World නම් කෙටිකතාව පෙන්වා දිහ හැකි ය. එය මීට කලකට පෙර "නෑ-යෝ" නමින් විදුසරෙහි ද පළ විය. එහි දැක්‌වෙන්නේ අපට සංවේදී විද්යුත් චුම්බක පරාසයට වඩා අතිශය කුඩා පරාසයකට සංවේදී ජීවීන් පිරිසක්‌ ගැන ය. ඔවුන් ඔවුන් ගේ ලෝකයේ අප මෙන් සාමාන්‍ය ජීවිත ගත කළත් අපට ඔවුන් පෙනෙන්නේ ගල්ගැසී ගිය මිහිදුම් රූප මෙනි. සම්මත දැනුම ම භාවිත කරමින් ඒ දෙස වෙනස්‌ කෝණයකින් බැලීමෙන් පමණක්‌ මෙබඳු රසවත් අදහසක්‌ ගොඩනඟාගත හැකි වනු ඇත.

සැකසුම

විද්‍යා ප්‍රබන්ධය දිග හැරෙන කාලය, ප්‍රදේශය හා ඊට අනුරූප සමාජ, ආර්ථික හෝ දේශපාලන පසුබිම පිළිබඳව විද්‍යා ප්‍රබන්ධයක දී සැලකිලිමත් විය යුතු වේ. ඔබේ කතාව සමහර විට අතීතයේ හෝ අනාගතයේ හෝ සිදු වන්නක්‌ විය හැකි අතර සමහර විට පෘථිවියේ හෝ වෙනත් ග්‍රහලෝකයක්‌ මත සිදු වන්නක්‌ විය හැකි ය. කතාව රචනයේ දී මුල සිට අගට ම එය දිගහැරෙන පරිසරයේ ස්‌වරූපය පිළිබඳව අවබෝධයෙන් යුතු ව කටයුතු කළ යුතු ය. නැත හොත් බුද්ධිමත් පාඨකයා තුළ කතාව කෙරෙහි වන විශ්වාසය බිඳවැටී යැමෙන් කතාව නීරස එකක්‌ විය හැකි ය. උදාහරණයක්‌ ලෙස දහ නව වැනි සියවසේ කුලී මෝටර් රථ සේවයක්‌ හෝ විසි තුන් වැනි සියවසේ ලියුම් බෙදාහරින තැපැල්කරුවකු හෝ ගැන කතාවක සඳහන් වීම එහි ඇති විශ්වසනීයත්වය බිඳ දමනු ඇත. සඳ මතුපිට වැනි ගුරුත්වාකර්ෂණය හා වායුගෝලීය සාධක පෘථිවියට වඩා වෙනස්‌ වන පරිසරයක දී ඊට අනුරූපව සිදු වන සිදුවීම් හා භාවිත කරන උපකරණ පිළිබඳව විස්‌තර කළ යුතු ය. ආලෝක වර්ෂ ගණනාවකට එහායින් ඇති ග්‍රහලෝකයක සිටින ජීවීන් කොටසක්‌ පෘථිවියේ භාෂාව ම කතා කිරීම හෝ මිනිස්‌ සමාජ ආකෘතියට සමාන සමාජයක ම ජීවත් වීම විය හැක්‌කක්‌ නො විය හැකි ය. විද්‍යාව පිළිබඳව පුළුල් දැනුමකින් හා රාමුවල හිර නො වූ දැක්‌මකින් යුක්‌ත වීමෙන් මෙබඳු ගැටලු මඟහරවාගත හැකි ය. අනෙක්‌ අතට විද්‍යා ප්‍රබන්ධයක පරිසරය ගොඩනැඟීමේ දී අප දන්නා විද්‍යා දැනුමට හා එහි නියමයන්ට ගරු කළ යුතු නමුත් ඒවාට ම කොටු වීමේ අවශ්‍යතාවක්‌ නැත. උදාහරණයක්‌ ලෙස මෙතෙක්‌ කාලතරණය, විය හැක්‌කක්‌ යෑයි කීමට කිසිදු විද්‍යාත්මක පදනමක්‌ නිර්මාණය වී නැති නමුත් කාලතරණයෙන් සිදු වන සිදුවීම් ගැන නිර්මාණයක්‌ කිරීමට එමඟින් බාධාවක්‌ නැත. සෞරග්‍රහ මණ්‌ඩල අතර සතිපතා සංචාරයෙහි නිරත වන යානයක සිදු වන කතාන්දරයක්‌ ඔබට කීමට අවශ්‍ය නම් ආලෝකයේ ප්‍රවේගයට වැඩි වේගයකින් යා හැකි යානාවක්‌ ඒ සඳහා භාවිත කිරීම වර්තමාන විද්‍යාවට අනුව විහිළුවකි. එහෙත් ඒ වෙනුවට වර්තමාන විද්‍යා දැනුමට හසු නො වන තාප කුහර අතරින් අභ්‍යවකාශ පිමි පැනීම බඳු විකල්ප ක්‍රමයක්‌ පහසුවෙන් යොදාගත හැකි ය.

චරිත

විද්‍යා ප්‍රබන්ධයක හෝ වේවා වෙනත් ඕනෑ ම කතාවක හෝ වේවා ගොඩනඟන චරිත ඉතා වැදගත් ය. පාඨකයා සහ කතාව අතර සෘජු සබඳතාව ගොඩනඟන්නේ කතාවෙහි එන චරිත බැවින් චරිතවල එන විචිත්‍රත්වය හා වෙනස්‌ හැසිරීම් රටා සාර්ථක නිර්මාණයකට අත්‍යවශ්‍ය වේ. ලේඛකයකුට පාඨක හදවතට සමීප චරිත නිර්මාණය කළ හැකි ය. විද්‍යා ප්‍රබන්ධයක නම් මේ චරිතවල චරිත ස්‌වභාවයන් පිළිගත හැකි විය යුතු ඒවා වේ. මේ හේතුව නිසා ම විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමේ අවශ්‍යතාව මත බොහෝ දෙනා තම නිර්මාණ සඳහා මහාචාර්යවරුන්, පර්යේෂකයන් වැනි චරිත යොදා ගනු දැකගත හැකි ය. එහෙත් මෙය කතාවේ රසවත් බවට හානියක්‌ නම් විද්‍යාත්මක පැහැදිලි කිරීම් සඳහා වෙනත් උපක්‍රම භාවිත කළ හැකි ය. චරිත දක්‌ෂ ලෙස හැසිරවීමෙන් අතිශය රසවත් විද්‍යා ප්‍රබන්ධයක්‌ නිර්මාණය කළ හැකි ය. මෙයට උදාහරණයක්‌ ලෙස ආතර් සී. ක්‌ලාක්‌ ගේ Forth day නම් විද්‍යා ප්‍රබන්ධය දැක්‌විය හැකි ය. එය හතර වැනි දවස නමින් සිංහලයට පරිවර්තනය වී ඇත. එහි දැක්‌වෙන්නේ සිවු දිනක්‌ ඇතුළත පෘථිවිය විනාශ වීමට නියමිත බව දැනගන්නා දියුණු පිටසක්‌වළ ජීවීන් පිරිසක්‌ හැකිතාක්‌ පෘථිවිවාසීන් පිරිසක්‌ ගලවා ගැනීම සඳහා පෘථිවිය සමග සම්බන්ධ වන්නට දරන උත්සාහයකි. ඔවුන් ගේ උත්සාහය සාර්ථක වන නමුත් ඔවුන් හා සම්බන්ධ වන්නේ රැකියාවේ ගැටලු හා බිරිඳ තමා හැර යැම නිසා ශෝකයෙන් බීමත් ව සිටින පුද්ගලයෙකි. බීමත්කම නිසා ඔහු එම පණිවිඩය සලකන්නේ විහිළුවක්‌ ලෙස ය. ඉතා රසවත් දෙබස්‌ ඔස්‌සේ ගලා යන එම කතාව සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ එම චරිතයේ හැසිරීම මත ය.

ගැටලුව

පොදුවේ ගත් කල වේදිකා නාට්‍යයක්‌, සාහිත්‍ය කෘතියක්‌, සිනමා නිර්මාණයක්‌ ආදී ඕනෑ ම නිර්මාණයක්‌ නිර්මාණය වන්නේ ගැටුමක්‌ හෝ ගැටලුවක්‌ හෝ පාදක කර ගනිමිනි. විද්‍යා ප්‍රබන්ධ කතාවක්‌ තුළ ද ගැටුමක්‌ හෝ ගැටලුවක්‌ සහ එමඟින් ඇති වන ප්‍රතිඵල හා සමහර විට අවසන් විසඳුම ද ඇතුළත් විය යුතු ය. කෘතියක සැබෑ රසාස්‌වාදය තීරණය කරන ප්‍රධානම සාධකය මෙයයි. උදාහරණයක්‌ ලෙස ඔබට කෙතරම් සාර්ථක අන්දමින් අනාගතය විස්‌තර කළ හැකි වුවත් ඔබ විස්‌තර කරන්නේ ගැටුමක්‌ නො ව සිදුවීම් සමූහයක්‌ පමණක්‌ නම් එහි කතාවක්‌ නැත. විද්‍යා ප්‍රබන්ධ කලාවෙහි ජනප්‍රිය ගැටුම් ආකෘති ලෙස මිනිසා හා තාක්‌ෂණය අතර වන ගැටුම් හා මිනිසා සහ පිටසක්‌වළයන් අතර ඇති වන ගැටුම් දැක්‌විය හැකි ය. මේ ආකෘති තුළ හෝ ඊට පරිබාහිර ආකෘතියක්‌ තුළ හෝ ඔබේ මුල් අදහසට ගැලපෙන ගැටුමක්‌ හෝ ගැටලුවක්‌ හෝ තිබිය යුතු ය. කතාවේ අවසානයේ දී එහි අවසන් ප්‍රතිඵලය හෝ එයට වන අවසන් විසඳුම ඉදිරිපත් කළ හැකි ය. ලෝකයේ ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධ රචකයා වන අයිසැක්‌ ඇසිමෝව් ගේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව ලෙස සැලකෙන්නේ ඔයෑ භසටයඑ ෙaකක කතාවයි. එයට පසුබිම් වන්නේ පෘථිවියට සමාන සමාජ ආකෘතියක්‌ ඇති වෙනත් ග්‍රහලොවකි. සූර්යයන් සය දෙනකු ගේ ආලෝකයෙන් ආලෝකවත් වන එම ග්‍රහලෝකයට එහි ඉතිහාසයේ කිසි ම දිනක රාත්‍රියක්‌ එළැඹ නැත. එහෙත් වසර 2049කට වරක්‌ එක්‌ දිනක දී සූර්යයන් එකට පෙළ ගැසී එම ග්‍රහලෝකයට රාත්‍රියක්‌ උදා වේ. කිසි දිනෙක අඳුරට හුරු ව නැති එම ග්‍රහලෝකවාසීන් එයට දක්‌වන ප්‍රතිචාර කෙබඳු ද? ඇසිමොව් එම ගැටලුව සහ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වන සිදුවීම් දාමය මනාව විස්‌තර කර ඇත. එම ප්‍රධාන ගැටලුව දිගහැරෙද්දී ඇති වන උප ගැටුම්වලින් ඇසිමෝව් තම කතාව ගොඩනඟා ඇත. ඔබට යම්කිසි ගැටලුවක්‌ නිර්මාණය කර ගත හැකි නම් පසුව එයට විසඳුමක්‌ සොයමින් කතාව ගොඩනැඟිය හැකි ය. නැත හොත් සිතට නැඟෙන ප්‍රතිඵලයක්‌ හෝ විසඳුමක්‌ හෝ ලෙස දැක්‌විය හැකි තත්ත්වයකට ගැලපෙන පරිදි ගැටලුවක්‌ හෝ ගැටුමක්‌ හෝ නිර්මාණය කරගත හැකි ය.

කතා වින්‍යාසය

සාර්ථක විද්‍යා ප්‍රබන්ධ කථාවක අතිශය තීරණාත්මක සාධකය කතාවේ වින්‍යාසය. එනම් කථාවේ මුල මැද අග සිද්ධි අනුපිළිවෙළ ගලපා ඇති ආකාරයයි. ඉහළ අන්තර්ගතයක්‌ ඇති කතාවක්‌ වුවත් සිදුවීම්වල ආරම්භයේ සිට අවසානයට ඒකරේ‚යව පෙළ ගැස්‌වීමෙන් එහි රසය හීන වී යා හැකි ය. පාඨකයා ගේ කුතුහලය ආරම්භයේ සිට අවසානයට රඳවාගත හැකි අන්දමට සිදුවීම් පෙළ ගැස්‌විය යුතු ය. ප්‍රබන්ධයෙහි ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම් චරිතවල හෝ සිදුවීම්වල හෝ අවශ්‍යතා මත මිස බලෙන් නිර්මාණයට ඇතුළු කිරීමට උත්සාහ නො කළ යුතු ය. කතාවකට අදහසක්‌ හිතට ආ සැණින් නො ලියා එය මනසෙහි රඳවාගෙන කලක්‌ වර්ධනය කරවීමෙන් වඩාත් ම ගැළපෙන කතා වින්‍යාසයක්‌ ගොඩනඟාගත හැකි ය.

විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවක කතා වින්‍යාසයේ වැදගත් ම කොටසක්‌ වන්නේ එහි අවසානයයි. සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බොහොමයක කතාවේ උපරිම ස්‌ථානයට එළඹෙන්නේ හෝ සැබෑ කතාව හෙළිදරව් වන්නේ හෝ කතාවේ අවසානයේ දී ය. එයට අමතරව පාඨකයාට සැබෑ කතාව තනි ව තේරුම් ගැනීමට අවශ්‍ය ඉඟි කිහිපයක්‌ පමණක්‌ දෙන කතාවසානයක්‌ ද තිබේ. ආතර් සී. ක්‌ලාක්‌ ගේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව ලෙස සැලකෙන Rescue Party එබඳු විශිෂ්ට අවසානයක්‌ තිබේ. එහි දැක්‌වෙන්නේ පුපුරා යැමට නියමිත සූර්යයා ගෙන් පෘථිවි ජීවීන් බේරා ගැනීමට විවිධ පිටසක්‌වළ ජීවීන් ගෙන් සැදුණු කණ්‌ඩායමක්‌ දරන උත්සාහයක්‌ පිළිබඳව ය. තාක්‌ෂණිකව දියුණු ජීවීන් බවට පත් වීමට ඔවුනට වසර බිලියන ගණනක්‌ වැය වී ඇති බැවින් විශ්වයේ අලුත උපන් මිනිස්‌ වර්ගයාට කිසිසේත් ම තරු අතරට යැමේ හැකියාවක්‌ නැතැයි ඔවුහු සිතති. කතාවෙහි අවසාන වාක්‍යය මිනිස්‌ වර්ගයා ගේ ප්‍රබලත්වය පිළිබඳව අතිශය ප්‍රබල හැඟීමක්‌ පාඨකයා ගේ සිත තුළ ඇති කරයි. මුළු කතාවට ම වඩා කතාවෙහි අතිශය තීරණාත්මක සාධකය වන්නේ එම අවසන් වාක්‍යයයි.

විද්‍යා ප්‍රබන්ධයක්‌ ලියා අවසන් කළ පසු එය කපා කොටා නැවත සකසා ලිවීම ආධුනික විද්‍යා ප්‍රබන්ධකරුවකු කළ යුතු ම දෙයකි. තම නිර්මාණයෙහි කතාව සිතේ ඇති බැවින් ලියන ලද කතාවෙහි අඩුපාඩු බොහෝ විට නිර්මාණකරුවකුට නො පෙනේ. ඒ නිසා ලියූ ප්‍රබන්ධය නැවත සකසා ගත යුතු ය. ඒ සඳහා අනුගමනය කළ හැකි හොඳ ම ක්‍රමය වන්නේ ඔබ විසින් ලියන ලද ප්‍රබන්ධය විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ ඇල්මක්‌ දක්‌වන ඔබේ මිතුරන්ට කියවීමට දී එහි අඩුපාඩු විමසා බැලීමයි. විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ එතරම් අදහසක්‌ නොමැති පුද්ගලයන් මෙය සඳහා සුදුසු නො වේ. එසේත් නැත්නම් කළ හැක්‌කේ ලියූ ප්‍රබන්ධය නො කියවා මාසයක්‌ දෙකක්‌ වැනි කාලයක්‌ තිබෙන්නට හැරීමයි. ඉන් පසු එය යළි කියවන විට ඔබේ අඩුපාඩු හමු වනු ඇත.

කෙසේ වෙතත් විද්‍යා ප්‍රබන්ධ ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට ඇති එක ම මාර්ගය වන්නේ උසස්‌ විද්‍යා ප්‍රබන්ධ හැකිතාක්‌ පරිශීලනය කිරීමයි. එමඟින් එම නිර්මාණවලට ඉහළින් පවතින නිර්මාණයක්‌ බිහි කිරීමේ හැකියාව හිමි වේ. එහෙත් ශ්‍රී ලංකාවේ ඇති ගැටලුව නම් ආධුනිකයන්ට, අනුගමනය කළ හැකි ප්‍රවීනයන් හිඟකමයි. සිංහල විද්‍යා ප්‍රබන්ධය දියණු කළ හැකි එක ම මාර්ගය ලෝකයේ උසස්‌ විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලයට පරිවර්තනය කිරීම ය. එහෙත් තවමත් එස්‌. එම්. බන්දුසීල මහතා ගේ පරිවර්තන කෘති හැරුණු කොට සැලකිය යුතු විද්‍යා ප්‍රබන්ධ ගණනක්‌ සිංහලයට පරිවර්තනය වී නැත. එයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ තවමත් ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ රසික සමූහය සංඛ්‍යාත්මකව පුළුල් වී නොමැතිකමයි. මේ නිසා පරිවර්තකයෝ ද ආර්ථික සාධක මුල් කර ගනිමින් විද්‍යා ප්‍රබන්ධ පරිවර්තනයට යම් මැළිකමක්‌ දක්‌වති.

මෑතකාලීනව බොහෝ විද්‍යා ප්‍රබන්ධ සිනමාපට නිර්මාණය වීමේ ප්‍රවණතාවක්‌ පැවතුණත් ආධුනික විද්‍යා ප්‍රබන්ධ රචකයකු ගේ ලේඛන හැකියාවේ වර්ධනයට එය එතරම් බලපෑමක්‌ එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි ය. කෙසේ නමුත් ලෝකයේ නව විද්‍යා හා තාක්‌ෂණික උපාංග හා ප්‍රවණතාවන් හඳුනා ගැනීමට බටහිර විද්‍යා ප්‍රබන්ධ සිනමාව ද ඉතා වැදගත් වේ.

අංකුර විද්‍යා ප්‍රබන්ධ රචකයන් වැඩි වැඩියෙන් බිහි වීමත් ඔවුන් තම දක්‍ෂතා හා හැකියාවන් ඔප මට්‌ටම් කර ගනිමින් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමත් රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනේ දී අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුතු කාරණයකි. ලෝක විද්‍යා හා තාක්‌ෂණ ආධිපත්‍යයේ ශ්‍රී ලංකාවට උරුම තැන දිනා ගත හැකි දක්‌ෂයන් බිහි කිරීමට නම් සීමාමායිම්වලින් තොර නව හැකියාවන් හා විභවයන් සොයා යන පිරිසක්‌ බවට ශ්‍රී ලාංකිකයන් බුද්ධිමය වශයෙන් සංවර්ධනය කළ යුතු ය. විද්‍යා ප්‍රබන්ධ රචකයන්ට මෙහි දී කළ හැකි කාර්ය භාරය අතිවිශාල ය. ශ්‍රී ලංකාව තුළ පුළුල් විද්‍යා ප්‍රබන්ධ රසික සමූහයක්‌ බිහි කර ගැනීමටත්, ප්‍රධාන සාහිත්‍ය ධාරාව තුළ කැපී පෙනෙන ස්‌ථානයක්‌ විද්‍යා ප්‍රබන්ධයට දිනා දීමටත් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කිරීමට ලංකාවේ සියලු ආධුනික විද්‍යා ප්‍රබන්ධ රචකයන් බළ මුළු තර කරගත යුතු කාලය එළැඹ තිබේ.

No comments:

Post a Comment