
නව නිර්මාණකරණයට පෙරවදනක්
තම අභිමානවත් ඉතිහාසයට ගැළපෙන උසස් තැනක් භෞතික ලෝකය තුළ නිර්මාණය කර ගැනීමේ දැවෙන ජාතික අවශ්‍යතාවක් මෑතකාලීනව නිර්මාණය වුණු දේශපාලන, ආගමික හා සමාජයීය නව රාමු තුළ මතු ව තිබේ. එහෙත් තාක්‌ෂණික ආර්ථික ලෝකයේ අධිපතිත්වය දරන රාජ්‍යයන් කිහිපයක් ඒ ඒ විෂයයන්හි ප්‍රබල ඒකාධිකාරයක් ද පවත්වාගෙන යන බැවින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මේ තත්ත්වයට අභියෝග කර තැනක් දිනා ගැනීම ප්‍රායෝගිකව පහසු කටයුත්තක් නො වේ. මීට භාවිත කළ හැකි හොඳ ම විකල්පය නම් නව නිර්මාණ ඔස්‌සේ ලෝක තාක්‌ෂණික ආර්ථික දේහය තුළට කඩා වැදීම ය.
මෙබඳු ජාතික මෙහෙයුමකට සහභාගි වීම සඳහා අපට දක්‌ෂ සොල්දාදුවන් සමූහයක් අවශ්‍ය ය. ප්‍රබල ආර්ථික විභවයක් ඇති නව නිර්මාණවලින් සන්නද්ධ වීම අවශ්‍ය ය. මෙය දිනකින් හෝ දෙකකින් හෝ කළ හැක්‌කක් නො වේ. ඒ සඳහා කුඩා කල සිට දරුවන් පුහුණු කළ යුතු ය. ඒ සඳහා නව නිර්මාණකරණය සඳහා දරුවන් හා යෞවනයන් පෙලඹවිය යුතු ය. මේ සන්දර්භය තුළ ජාතියක් වශයෙන් සැලකූ කල්හි පාසල් නව නිර්මාණකරණය අතිශය වැදගත්, අතිශය තීරණාත්මක එකක් බවට පත් වන්නේ නිරායාසයෙනි.
ජාතියේ වාසනාවකට මෙන් මේ කටයුතු සඳහා ප්‍රශස්‌ත මට්‌ටමේ මැදිහත් වීමක් ජාතික මට්‌ටමින් ලැබේ. මේ සඳහා ප්‍රධාන වැඩ කොටසක් ඉටු කරන්නේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් ගේ කොමිසමයි. මීට අමතරව ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානය (නර්ඩ්), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ජාතික විද්‍යා පදනම ආදී ආයතන මීට සම්මාදම් වේ. වාර්ෂිකව පාසල් මට්‌ටමින් හා ඊට පරිබාහිරව නව නිපැයුම් තරග කිහිපයක් ම පවත්වමින් ඉන් ජයග්‍රහණය ලබන්නන් ජාතික මට්‌ටමේ සිට ජාත්‍යන්තර මට්‌ටමේ තරඟ දක්‌වා කැඳවාගෙන ගොස් ජයග්‍රහණ අත්පත් කර දීමට එම ආයතන සක්‍රීයව දායක වේ. එහෙත් ආර්ථික විභවයක් ඇති නව නිර්මාණයක් වැඩි දියුණු කර නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට මෙතෙක් නිවැරැදි මැදිහත් වීමක් නො කෙරිණි. නර්ඩ් වැනි ආයතන තම මූලික කාර්යභාරයට පරිබාහිරව යමින් මේ සඳහා යම්කිසි දායකත්වයක් සැපයුවත් රටේ ආර්ථිකයට නව නිර්මාණ මඟින් නිසි දායකත්වයක් ලබා ගැනීමට නම් ඒ වෙනුවෙන් ම වෙන් වූ වෙනත් ආයතනයක් තිබිය යුතු ය. (අභිනවයෙන් පත් වූ නව නිපැයුම්කරුවන් ගේ කොමිසමේ නව සභාපතිවරයාට අනුව එබඳු ආයතනයක් පිළිබඳ සැලසුම් දැනටමත් සකස් වී ඇති අතර අනාගතයේ එබන්දක බිහි වීම පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකි ය.)
පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවකුට තම හැකියාවන් ඉදිරිපත් කළ හැකි සක්‍රීය නව නිර්මාණ ක්‍රියාවලියක් ඇත. එමෙන්ම එම නිර්මාණ නිෂ්පාදනයක් බවට පත් කිරීම පිළිබඳව වන පශ්චාත් නව නිර්මාණ ක්‍රියාවලියක් පිළිබඳව ප්‍රබල කතිකාවතක් ඇති වී තිබේ. මේ අතර බොහෝ දෙනා ගේ අවධානය යොමු නො වන අතිශය වැදගත් තීරණාත්මක ක්‍රියාදාමයක් ද ඇත. ඒ පූර්ව නව නිර්මාණ ක්‍රියාවලියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරම් නව නිර්මාණ තරගාවලි සංවිධානය වේ පාසල් නව නිර්මාණ තරග ඒ අතර ප්‍රධාන ය. එහෙත් මේවාට ඉදිරිපත් වන ප්‍රදර්ශන භාණ්‌ඩවල ගුණාත්මකභාවය සෑහීමකට පත් විය හැකි මට්‌ටමක නැත. එක ම නිර්මාණ බොහෝ විට නැවත නැවත ඉදිරිපත් වන අතර සමහර නිර්මාණවල කිසිදු ප්‍රයෝජනවත් බවක් නැත. නව නිර්මාණයක මුඛ්‍ය අර්ථය වූ නව්‍යභාවය හෝ නිර්මාණාත්මකභාවය බොහෝ නිර්මාණවල දැකගත නොහැකි ය. ඉඳහිට පමණක් දක්‌ෂ දරුවකු අතින් වටිනා නිර්මාණයක් මතු වේ. මේ තත්ත්වයට පැහැදිලි ම හේතුවක් ලෙස දැක්‌විය හැක්‌කේ නව නිර්මාණ යනු කුමක් ද යන්න පිළිබඳව සිසුන්ට නිවැරැදි අවබෝධයක් නො වීමයි. නව නිර්මාණකරණය පිළිබඳ පාසල් මට්‌ටමෙන් දේශන හා වැඩමුළු සංවිධානය කිරීමෙන් එම අඩුපාඩුව යම් පමණකට මඟහරවා ගත හැකි ය. එහෙත් මෙබඳු තත්ත්වයක් උද්ගත වීම සඳහා බලපා ඇති ප්‍රධානතම සාධකය බැලු බැල්මට මතුපිටින් නො පෙනෙනසුලු ය.
නව නිර්මාණකරණයේ දුර්වලතාවන්ට බරපතලවම බලපාන එකී සාධකය නම් දරුවන් ගේ නිර්මාණාත්මක චින්තනය දුර්වල වීමයි. කුරුම්බැට්‌ටි මැෂිමක් දැක නැති, සරුංගලයත්, වෙසක් කූඩුවත් කඩයෙන් මිලට ගන්නා, පරිගණක ක්‍රීඩාවල විහින් සිර වී සිටින හෝ අමතර පන්තියකට බලයෙන් සිර කරන ලද දරුවන් ගේ සහජ නිර්මාණශීලීත්වය පවා මොට ව යැම පුදුමයක් නො වේ. රූපවාහිනී චැනල මඟින් බලහත්කාරයෙන් පරිභෝජනය කරවනු ලබන ජනප්‍රිය ආකෘතියේ ක්‌ෂණික නූඩ්ල්ස් බඳු, රහක් මිස ගුණයක් නැති වැඩසටහන්වල සිර වී සිටින මාපියන්ට ද ඒවා මඟින් තම දරුවන්ට සිදු වන හානිය පිළිබඳ අදහසක් නැත.
එහෙත් දරුවන් නිර්මාණශීලීත්වයෙන් තොර වීමට ප්‍රධාන හේතුව මේ විෂම සමාජ ආකෘතිය ම නො වේ. එසේ වී නම් මේ සමාජ ආකෘතිය ඇති වීමට පෙර හෝ එහි බලපෑමට සෘජුව ම හසු වී නැති ගම්බද පළාත්වල හෝ නිර්මාණශීලී දරුවන් බිහි විය යුතු ය. එබන්දක් ද සිදු ව නැති හෙයින් එයට මූලික හේතුව වෙනත් කාරණයක් විය යුතු ය. එකී හේතුව කවරක් හෝ වේවා මෑත යුගය දෙස නිරීක්‌ෂණාත්මකව බලන කල්හි අපට නිසැකව ම පිළිගන්නට සිදු වන එක් කරුණක් තිබේ. ඒ ජාතියක් වශයෙන් මේ වන විට අප නිර්මාණාත්මක චින්තනය පිළිබඳ ඌනතාවකින් පෙළෙන බවයි. මෙබඳු තත්ත්වයක් තුළ කෙතරම් නව නිර්මාණ තරග සංවිධානය කළ ද බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිඵලය ලබා ගත නොහැකි ය. එබැවින් පළමුවෙන් ම කළ යුත්තේ දරුවන් ගේ නිර්මාණාත්මක චින්තනය වර්ධනය කරවීමයි. ජාතියක නිර්මාණාත්මක චින්තනය වර්ධනය කිරීම වැඩමුළුවක් දෙකක් පවත්වා කළ හැක්කක් නොවේ.
- නව නිර්මාණයක තිබිය යුතු ලක්‌ෂණ
වර්තමානයේ පාසල් නව නිර්මාණ තරග සඳහා ප්‍රමාණාත්මකව ඉතා විශාල නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් වුවත් ඒවා අතුරින් ගුණාත්මක වටිනාකමක් සහිත නිර්මාණ ඇත්තේ අතළොස්‌සකි. නව නිර්මාණ යන්නෙන් අදහස් වන දේ පිළිබඳව නිවැරැදි චිත්‍රයක් දරුවන් අතර නො තිබීම මීට හේතුවක් ලෙස දැක්‌විය හැකි ය. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාසල් සහ පාසල් නව නිපැයුම් සංගම් (සක්‍රීයව) ක්‍රියාත්මක වන පාසල් හැරුණු කොට අනෙකුත් පාසල්වල සිසුන් සතුව පැහැදිලි අවබෝධයක් මේ පිළිබඳව නැත. බොහෝ පාසල් සිසුන් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණ කරන්නේ සමහර විට නව නිර්මාණ ගණයට වත් නො වැටෙන නිර්මාණ ය. මෙයට විසඳුමක් ලෙස නව නිර්මාණකරණය පිළිබඳව ඉහළ දැනුමක් සහිත පුද්ගලයන් සම්පත් දායකයන් ලෙස යොදාගනිමින් වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය සංවිධානය කළ හැකි ය. නව නිර්මාණයක් ඇගයීමේ දී විනිසුරුවන් තම විනිශ්චය සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන කරුණු පිළිබඳව දැනුවත් වීමෙන් තම නිර්මාණය කෙසේ හැඩ ගැසිය යුතු ද යන්න පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබා ගත හැකි ය. බොහෝ විට ගුරුවරුන් විසින් කරනු ලබන පාසල් නව නිර්මාණ තරග විනිශ්චය සඳහා පොදු ක්‍රියා පටිපාටියක් භාවිත නො වුවත් සාධාරණ විනිශ්චයක් සඳහා නිවැරැදි වන්නේ පහත සඳහන් පිළිගත් ආකෘතියයි. එයට අනුව නව නිර්මාණයක් ඇගයීම සඳහා නිර්ණායක 4ක් භාවිත වේ.
1. නිර්මාණයේ නව්‍යතාව
වචනයේ අර්ථයෙන් ම නව නිර්මාණයක තිබිය යුතු වැදගත් ම ලක්‌ෂණය වන්නේ නිර්මාණයේ නව්‍යතාවයි. එය වෙනත් උපකරණයක හෝ උපාංගයක හෝ අනුකරණයක් නො විය යුතු ය. අලුත් සංකල්පයක් මත ගොඩනැඟූ නව නිපැයුමක් විය යුතු ය. බොහෝ විට පාසල් සිසුන් සියලු දෙනාට ම අත්දකින්නට ලැබෙන්නේ පොදු තාක්‌ෂණික විද්‍යාත්මක දැනුමක් බැවින් ඒ දැනුම පදනම් කරගෙන කරන නව නිර්මාණයක් ඊට පෙර ද ඉදිරිපත් වී තිබිය හැකි ය. එමෙන්ම ලෝකයේ ඇති පොදු ගැටලුවකට විසඳුමක් ලෙස නව නිපැයුමක සංවර්ධිත නිෂ්පාදනයක් ඊට පෙර නිර්මාණය වී තිබිය හැකි ය. එබැවින් නව නිර්මාණ සංකල්පයක් මනසෙහි පහළ වූ විට දැනුවත් පුද්ගලයන් ගෙන්, ආයතනවලින් හෝ අන්තර්ජාලයෙන් හෝ විමසා එය නව නිර්මාණයක් දැයි තහවුරු කරගෙන නිපදවිය යුතු ය.
2. නිර්මාණයේ උපයෝගීතාව
නව්‍යතාව හැරුණු කොට විනිශ්චයක දී වැඩිපුර ම අවධානයට ලක් වන්නේ නිපැයුම් උපයෝගීතාවයි. එනම් සමාජයට එම නිර්මාණයෙන් ඇති ප්‍රයෝජනවත්භාවයයි. නව නිර්මාණයකින් බලාපොරොත්තු වන්නේ ද එමඟින් දැනට පවතින කටයුත්තක් හෝ කටයුතු සමූහයක් හෝ පෙර පැවැති ක්‍රමවේදවලට වඩා පහසුවෙන්, කාර්යක්‌ෂමව හා ලාභදායීව ඉටු කරගැනීමට හැකි වීමයි. මේ ප්‍රයෝජනවත්භාවය සමහර විට මුළු ලෝකයට ම, රටට ම නොඑසේ නම් එක් ප්‍රදේශයකට හෝ එක් ක්‌ෂේත්‍රයකට පමණක් අදාළ විය හැකි ය. එබැවින් නව නිර්මාණකරුවකු නව නිර්මාණයක් කිරීමේ දී සමාජයට ප්‍රයෝජනවත් නිර්මාණයක් කිරීම සඳහා උත්සුක විය යුතු ය.
3. ස්‌වාධීන උත්සාහය
විශේෂයෙන් පාසල් නව නිර්මාණ තරගයක දී ඊට අදාළ අභිමාතාර්ථ ගොන්න අතරින් ස්‌වාධීන නිපැයුම් ඉදිරිපත් කිරීමකට සැලකිය යුතු තැනක් ලැබේ. තම මාපියන්, සහෝදර සහෝදරියන් හෝ වෙනත් පුද්ගලයන් විසින් කරන ලද නිර්මාණයක් තමා ගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් නො කළ යුතු ය. මෙය සදාචාර විරෝධී කටයුත්තක් වනවා මෙන්ම විනිසුරුවන් ගේ නිරීක්‌ෂණයට ද එය පහසුවෙන් හසු වේ. කෙසේ වෙතත් තමා ගේ ස්‌වාධීන මුල් අදහස ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය උදව් උපකාර අන් අය ගෙන් ලබා ගැනීම මෙමඟින් ප්‍රතික්‌ෂේප නො කෙරේ.
4. අනෙකුත් කරුණු
නිර්මාණයක ඇති පෙනුම, ශක්‌තිමත් බව, කල් පැවැත්ම ආදිය මෙහි දී ඇගයීමට ලක් වේ. එහෙත් මෙම කරුණු අත්‍යවශ්‍ය ඒවා නො වන අතර ඒවාට හිමි වනුයේ ද අවම වටිනාකමකි. එහෙත් සමහර සිසුහු නව නිර්මාණයේ ප්‍රධාන ලක්‌ෂණ මේවා යෑයි සිතා වැඩි වියදමක් වැඩි මහන්සියක් මේ වෙනුවෙන් වැය කරති. එය අනවශ්‍ය ය.
මෙම නිර්ණායක 4 පාදක කරගනිමින් නව නිර්මාණයක් විනිශ්චයේ දී ලකුණු ලබා දෙන ආකාරය ඒ ඒ කාරණයේ වැදගත්කමට සමානුරූපී වේ. ඉහත එක් එක් නිර්ණායකයන්ට අනුරූපව ලකුණු හිමි වන ආකාරය පහත වගුවේ දැක්‌වෙන අතර එමඟින් සිසුවකුට නිර්මාණකරණයේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
නිර්ණායකය ලකුණු ප්‍රමාණය
1. නව්‍යතාව 40
2. උපයෝගීතාව 30
3. ස්‌වාධීන උත්සාහය 20
4. අනෙකුත් කරුණු 10
100
නිසි අවබෝධයක් නොමැතිකම නිසා "නව නිර්මාණ" විෂයය තුළ කිසිදු ඇගයීමකට ලක් නො වන නිර්මාණ නව නිර්මාණ තරග සඳහා පාසල් සිසුන් විසින් ඉදිරිපත් කෙරෙනු සාමාන්‍යයෙන් දැකගත හැකි ය. විශේෂයෙන් සිසුවියෝ විවිධ නව ක්‍රමවේද අනුගමනය කර සාදන ලද නව ආහාර වර්ග ආදිය නව නිර්මාණ තරගවලට ඉදිරිපත් කරති. එහෙත් මේවා නව නිපැයුම් ගණයෙහි ලා අගය කිරීමට ලක් නො වන තරම් ය එමෙන්ම විවිධ කැටයම්, සැරසිලි වැනි කලාත්මක නිර්මාණ ද නව නිපැයුම් තරගයක දී ඇගයීමට ලක් නො වේ.
කෙසේ වෙතත් නව නිර්මාණයක් අත්‍යවශ්‍යයෙන් ම ඉලෙක්‌ට්‍රොනික හෝ යාන්ත්‍රික උපාංගයක් ම විය යුතු නො වේ. වඩාත් වැදගත් වන්නේ සංකල්පයයි. සංකල්පය ප්‍රබල නම්, නව්‍ය නම් ඉතා සරල කුඩා නිපැයුමක් වුව ද නව නිර්මාණ තරගයක දී ඉතා ඉහළ ඇගයීමකට ලක් වෙයි. නිර්මාණයක ආකෘතියක් ඉදිරිපත් කිරීමේ දී එය භෞතික විද්‍යා නියමයන් ඔස්‌සේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද යන්න ගැන ද සලකා බැලිය යුතු ය. එමෙන්ම දැනට අප භාවිත කරන උපකරණ සඳහා ම එක් කරන නව උපාංග ද නව නිර්මාණයක් ලෙස සැලකේ.
- .
No comments:
Post a Comment